Pages

Subscribe

Sunday, June 12, 2011

සුපුරුදු කුටියෙන් මිදීමට සමත්වෙන්නා තම ගමනේ දුෂ්කරතම කොටස පසුකරන්න සමත්වෙන්නාය

"He who is outside his door has the hardest part of his journey behind him."
– Dutch Proverb


පාරේ කෙළවරේ ඇති මැයි ගහක් ගැන හිතන්න, ඒ ගසේ කූඩුවෙලා ඉන්න ලෙන් පැටියෙක් ගැන හිතන්න. ගහ ලොකුයි, කඳ මහතයි, ඒ මේ අත පැතිරුණ අතු ගොඩයි. ගහේ මල් පිපෙන්නේ මැයි කාලයේ දී විතරයි, එහෙනම් අනික් කාලවල දී ලේන් පැටියා ජීවත් වෙන්නේ කොහොමද? කුරුල්ලන්ට වගේ ලේනාට පියාඹා ගිහින් කෑම සොයාගන්න බැහැ. ටිං ටිං යාළුවා ගහෙන් බහින්න වෙනවා, කැමැති පලතුරක් හොයාගෙන ගිහින් කන්න වෙනවා. ගහෙන් බසින ලේන් පැටියාව අල්ලන්න මානන පූස් තඩියෙක්, උගුඩුවෙක්, මුගටියෙක් ළඟ පාතක ඉන්න පුළුවන්. එහෙමත් නැතිනම් තොරතෝංචියක් නැතිව ඒ මේ අත දිවෙන වාහනයකට යටවෙන්න පුළුවන්. දඩබ්බර කොලු පැටියෙකුගේ කැටපොල් පාරකට ඉලක්ක වෙන්නත් බැරි නැහැ. ඒත් ජීවත් වෙන්න නම් පළමුව ලේන් පැටියා තම සුපුරුදු සුවිසල් රජදහන වූ ගසෙන්  බහින්න වෙනවා. එතැන් සිට කෑම වේලක් සොයාගන්න තම පුංචි මොළයත්, ආරක්ෂාවට සොබාදහමින් ලැබී ඇති උපක්‍රමයනුත් පාවිච්චි කරාවි. එහෙම නැතිව ළඟ පාතක තියෙන ඉදුණ ගෙඩි පිරුණ ජෑම් ගහක් දිහා උස මැයි ගහේ ලොකු අත්තක් උඩට වෙලා බලබලා තලුමරමින් හිටියොත් ලේන් පැටියා ජීවත් වෙන්නේ කොහොමද? ගහෙන් බැස එන ලේන් පැටියා තම හිතේ පැලපදියම්ව ඇති බිය වටා ගොඩ නඟා ගත්තා වූ අස්ථාවරය පරාජය කරන්න සමත් වෙනවා ඒකාන්තයි. එතැන් සිට තම නුවණ හසුරවා තම අභිප්‍රාය වූ ඉදුණ ගෙඩි පිරුණ ජෑම් ගස කරා පිම්මේ යනවා නොඅනුමානයි.

අධ්‍යාපනය, රැකියාව හෝ පොදුවේ ජීවිතයේ තම අභිප්‍රාය මදුන් පමුණුවා ගන්න උවමනා අයෙකුට ඒ සඳහාවෙන මග පියවර මනින්න වෙනවා. එය ඉලක්කය අනුව වෙනස් වෙන්න පුළුවන්, ඒ මග දිගේ හමුවෙන අභියෝගයන් ජයගන්න වෙනවා. ඒ අතර කල් ඇතිව හඳුනා ගත හැකි අභියෝගයන් (predictable/known challenges) මෙන්ම  බලාපොරොත්තු නැති අවස්ථාවක මතුවෙන පුළුවන් අභියෝගයන් (unknown challenges) ද එමට තියෙන්න පුළුවනි.


ඉලක්කය කියන අදහස හිතේ ඇතිකර ගැනීම යහපත් පියවරක්. මං අර විදියට කරනවා මේ විදියට කරනවා සිතමින් කාලය ගතකිරීමෙන් පමණක් තම බලාපොරොත්තුව ඉටුවෙන්නේ නැහැ. ඒ ඉලක්කය කියන බලාපොරොත්තුව ළඟා කරගන්න, සඵල කරගන්න නම් වෙහෙසෙන්න වෙනවා. එය දිගු ගමනක් වෙන්න පුළුවන්, ඒ ගමනේ දී අනේක බාධක මතුවෙන්න පුළුවන්. ඒත් වඩාත් වැදගත් වෙන්නේ හැම බාධකයන්ට මුහුණ දී ජයගන්නෙමි යන විශ්වාසයෙන් පළමු පියවර තබන්න හිතා ගැනීමයි.

ඒ අධිෂ්ඨානය පෙරදැරි කරගෙන තම ඉලක්කය කරා ළඟාවීමට පියවර තබන්න සමත්වෙන්නා තමාව තමුන් විසින් හිරකර තැබූ කුටියෙන් මුදවන්නට සමත්වෙන්නා වේ. ඒ අනුව ඔහු හෝ ඇය තම අහිප්‍රාය මුදුන් පමුණුවා ගන්න ඉදිරියටම ඇදෙනු ඇත.

ජීවිතය ගමනකි, පියවරෙන් පියවර ඉදිරියට යායුතු ගමනක්ම වෙන්නේය.


එහෙම නොවෙන්න ඒ බලපොරොත්තුව හිතේ ඉපදී කාලය සමඟ මියැදෙන නිෂ්ඵල සිහිනයක් විතරක් වෙන්න පුළුවන්.

මෙහි දී ගෙනහැර දැක්වූයේ වටිනා ඕලන්ද පිරුළකි.

ලිව්වේ: ගල්මල්-Coral
සිතුවම:  http://www.businessinsider.com/

4 comments:

හරී - පිණිපළස said...

උදේ පාන්දර දැක්කෙ හිතට දැනෙන දෙයක්, ස්තූතියි අයියේ

ගල්මල්-Coral said...

@හරී - පිණිපළස:
බොහෝම ස්තුතියි නංගී සටහනට, සුබ දවසක් වේවා!

නලිනි චන්දිමා said...

බොහොම වැදගත් උපදෙසක් දෙන ලිපියක්. එළියට බැහැලා අභියෝගවලට මුහුණ නොදී ඉදිරියට යාමක්, සතුටක් නැහැ.
බොහොම ස්තුතියි ඩීන් අය්යා.

ගල්මල්-Coral said...

@නලිනි චන්දිමා:
බොහෝම ස්තුතියි නංගී සටහනට. මේ පොස්ට් එක ලියන්න අරන් සති දෙකකට ලඟ ඇති, කරගන්න වෙලාවක් නැතුව දවසින් දවස කල් දාන්න වුනා.

Post a Comment