Pages

Subscribe

Friday, October 28, 2011

තරඟයට මුහුණ දෙන ඔබ පරාජය නොවෙන්නට නම්…

යමක් තේරුම් ගන්න පුළුවන් පොඩි දරුවා අවදියේ සිට පුද්ගලයෙකුගේ ජීවිතයේ නෙයෙකුත් අවස්ථාවල දී අනේක තරඟයනට මුහුණ දෙන්න සිදුවෙනවා. තරඟයකට මුහුණදීමට සූදානම, දහිරිය, ආත්මශක්තිය ද අවශ්‍යවේ. ඒ වගේම තරඟයෙන් ජය ලබන්න නම් අනෙකුත් තරඟකරුවන් අභිබවා ඉදිරියට ඇදෙන්න හැකියාවත් තිබිය යුතුය. තරඟයේ ජයග්‍රහණය හිමිවෙන්නේ මුලින් දිනුම් කණුව කරා ළඟාවෙන අයට පමණ ද? පිළිතුර විවාදයට තුඩු දෙන්න පුළුවන්.

බ්‍රිතාන්‍ය ජාතික ධාවනශූරියෙකු වූ ඩෙරික් ඇන්තනී  රෙඩ්මන්ඩ් 1992 වසරේ බාසෙලෝනා නුවර පැවැත්වූ ඔලිම්පික් තරඟයේ දී තම රට නියෝජනය කරමින් මීටර 400 තරඟයට ඉදිරිපත් විය. ඒ වෙනවිට එම කාණ්ඩයේ බ්‍රිතාන්‍යයේ ජාතික පදක්කම්ලාභියා වූ ඔහු දේශය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ජගත් තරඟ ගණනාවකින් පදක්කම් හිමිකරගෙන සිටියේය. ඉදිරිපත්වූ ඔලිම්පික් තරඟ ඉසව්වේ ඔහු රන් පදක්කම දිනා ගනු ඇතැයි කාගේත් බලාපොරොත්තුව විය.

ආශීර්වාද මැද දහස් ගණන් ඇස් යුගලන් ලුහුබඳිද්දි ඩෙරික් රෙඩ්මන්ඩ් ඉදිරියට ඇදුණේය. පළමුවටයේ තරඟ ඉසව්වේ කෙටිම කාලය සලකුණු කරමින් ඉදිරියෙන්ම සිටියේය. අර්ධ අවසාන තරඟය ඇරඹුණි, සාර්ථක ආරම්භයක් දුන් ඩෙරික් නිමාවට මීටර 250ක් පමණ දුරක් තිබිය දී කලව ප්‍රදේශයේ ඇතිවූ දරුණු වේදනාවක් නිසා තවදුර දිවීමට නොහැකිව ඇද වැටුණේය. අවාසනාවක මහත! ඔහුව පිටියෙන් ඉවතට ඔසවාගෙන යෑමට කටයුතු යෙදුණි. ඒ අතරතුර කවුරුත් කුතුහලයට පත්කරමින් ඩෙරික් නම් ඒ දිරිය තරුණයා දෙපයින් නැගිට්ටේ තරඟයේ ඉතිරිය නිමාකිරීමට  අදිටන් කරගනිමිනි. නොන්ඩිගසමින් ඉදිරියට ඇදුණේය.

ආරක්ෂක වළලු අතරින් රිංගා තරඟය නරඹන්නන් අතරින් අයෙකු ධාවනපතයට කඩාගෙන ආවේය. ඔහු  තනිකකුළින් නොන්ඩිගසන ඩෙරික් නම් ධාවනශුරියාට උරදුන්නේය.

"නුඹ මේ දේ කරන්න (තවදුරටත් දිවීම) අවශ්‍ය නැහැ" වේදනාවෙන් මිරිකීගිය ඩෙරික්ගේ පපුවට ළංවී බැගෑපත් විය.

"නැහැ, මං තරඟය අවසන් කරන්න ඕනේ" ඩෙරික් මිමිනුවේය.

"හරි, එහෙනම් අපි දෙදෙනාම එකතුව තරඟ අවසානයට යමු." කී ඒ පුද්ගලයා ඩෙරික් ගේ ආදරණීය පියාණන්ය.

පිය පුතු දෙපළ උරෙනුර දරමින් ඉදිරියට ඇදුනෝය. තරඟ අවසාන ඉමට ලං වෙද්දී ඩෙරික්ට ඉදිරියට ඇදෙන්න ඉඩහල පියාණන් පසෙකට විය.

තරඟයේ රන්පදක්කම කරවට පළදින්න නියමිතව සිටි ධාවනශූරියාට ජයග්‍රහණ අහිමි වෙන්න ඇති. එහෙත් ඩෙරික් නම් දිරියපුතෙකු තරඟයෙන් පරාජය නොවිය. තරඟ අවසානය කරා සේන්දුවෙන පිය පුතු දෙපළට ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි 65,000ක පිරිසක් නැගීසිට අත්පොළස්නින් කිරුළු පැලන්දූහ.

ඩෙරික් තරඟ අවසානය කරා ළඟාවූව ද ඔලිම්පික් තරඟ කෙන්දේසි අනුව තරඟය නිමා නොකර අයෙකු හැටියට වාර්තා වූ බව කියැවුණි. ජය ගිලිහී යද්දී ද ක්‍රීඩාවේ හරය ඉහළට එසවූ ඒ දිරිය මිනිසා ඔලිම්පික්-ස්ප්‍රිට් යන අදහස ප්‍රචලිත කිරීම සඳහා යොදාගන්න ඔලිම්පික් කමිටුව තීරණය කර තිබුණි.


තරඟයට මුහුණදෙන පුද්ගලයා ජයග්‍රාහිකයාම විය යුතු නැත, තරඟය සඳහා වෙන සූදානම ලබාදෙන අවස්ථාවෙන් ලබන පන්නරය, තරඟ නිමාවට සේන්දුවෙන්න තියෙන උනන්දුව පවා පදවි පදක්කම් නැතුවාට ලබා දෙන්නේ ජයග්‍රහණයක් නොවෙද? ගෙනියන්නේ ආරම්භයට වඩා වෙනස් ඉසව්වකට නොවේද?

බැරිය කියා අතර මගින් දමා හැර යෑම ලෙහෙසි කාරියක් වෙන්න පුළුවන්. එවැනි අවාසනාවන්ත අවස්ථාවක දී තනිකකුලේ සවියෙන්  නොන්ඩිගසමින් ඉදිරියට ඇදුන ඩෙරික්ගේ ඔලිම්පික් ගමන ගැන මතක් කරන්න. ඔබ දිවිය යුතු ජීවන මැරතනයේ තවත් දුරක් ඉදිරියට ඇදෙනවා නොඅනුමානයි.

ඔලිම්පික් කියන්නේ ජගත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වීරෝදාර සංකේතයක්. ඔලිම්පික් සම්ප්‍රදාය අනුව ස්ට්‍රෙචර්යකිනි පිටියෙන් ඉවතට ගෙනියන්න නියමිත ඩෙරික්ගේ දිරියේ උල්පත, ඔලිම්පික් ආරක්ෂක වළලු පරයා වේදනාවෙන් මිරිකීගිය දිරිය-පුතුට උරදෙන්න ආ තාත්තා වෙන්න පුළුවන්. වැටෙන හැම වරකම නැගී සිටින්නට උරදී, ඉදිරියෙන් ඉදිරියට පියවර නංවා චැම්පියන්ස්ලා තනා, තිරයන් පිටුපසටවී නිහඬව සැඟවී බලා සිටිනා මහායෝධ පියවරුන් ගැන මතක් කරන්න මේ සටහන අවස්ථාවක් කරගන්නෙමි.

තරඟයට මුහුණදෙන ඔබ පරාජය නොවෙන්නට නම්Don’t Give Up


මේ සම්බන්ද තවත් වීඩියෝ දර්ශණයක් මෙතැනින්...

ඩෙරික් රෙඩ්මන්ඩ් ගැන වැඩි විස්තර විකියෙන් කියවන්න.

සටහන:
1992 සිට ඩෙරික් සම්බන්ධ මේ සිද්ධිය විවිධ කණ්ඩායම් ගොඩනැගීම් හා බැඳි වැඩමුළුවල දී උපයෝගී කරගෙන ඇත්තෙමි. මීට දින දෙකකට කලින් රාජකාරියට අදාළ සෙවුමක දී 1992 බාසෙලෝනා ඔලිම්පික් තරඟයේ වීඩියෝ ක්ලිප් එක හම්බ වුණා. අරුණලු ලිපි පෙළේ ගැලීමට පොඩි වෙනසක් වුණත් ඩෙරික්ගේ කතාව දෙන පණිවුඩයේ වටිනාකම නිසා මේ පොස්ට් එක කරන්න සිතුවෙමි.

13 comments:

Chandi said...

මල්ලී බොහොම ස්තූතියි! මේ සටහනට. මේක අපේ මහත්තයා සීගිරියෙ නංගිලා, මල්ලිලාට කල වැඩසටහනේදී පෙන්වූවා මට මතක විදිහට. කෙනෙක්ට අභියෝග ඉදිරියේ නැගී සිටින්නට හොඳ ශක්තියක් දෙන සටහනක්. මහත්තයාගෙ motivation වැඩසටහනේදී මෙය පෙන්වනවා දිරිමත් කිරීම සඳහා. මට කියන්න වචන නෑ මේ සටහනට. අපේ නංගිලා, මල්ලිලාට හැමෝටම හොඳ ආදර්ශයක්. ඔබට බොහෝ පින්!

Anonymous said...

හ්ම්.. හැබෑව සහෝදරයා...අභියෝග එමටයි..මුහුණ දීම තමා උතුම්..

සුලා..

ගල්මල්-Coral said...

@Chandi:
ඔව් අක්කේ මෝටිවේෂන් ප්‍රෝග්‍රෑම්වල දී ඩෙරික් ගේ කතාව ලොකු අනුබලයක් දෙනවා. ඒ වගේම අරකී වැඩ සටහනින් ඔබලා කර කාරිය බොහෝ අගේය. අපෙන් කරන්න පුලුවන් දේ පොඩි පොඩියට හරි කරමු. බොහෝම ස්තුතියි අක්කේ සටහනට.

ගල්මල්-Coral said...

@සුලා:
කාලෙකට පසුව සටහනකින් දකින්න ලැබීම ගැන බොහෝම සතුටුයි. ගල්මල් අඩවියට දෙබර ප්‍රහාරයක නිසා ගේට්ටු ලොක් කරන්න වීම ගැනත් බොහෝම කණගාටුයි. මගේ ඊමේල් ලිපිනය බ්ලොග් පිටුවේ තියෙනවා, පුලුවන් නම් මේල් එකක් දාන්න.

වැඩ කටයුතු හොඳින් කරගෙන ඉන්නවා කියා හිතමි.

Anonymous said...

එය හරිම සංවේදී සිදුවීමක්. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ ගැන. බෙදාහදාගත්තාට ගොඩක් ස්තුතියි.

ගල්මල්-Coral said...

@readmyeye:
බොහෝමත්ම ස්තුතියි මේ දිහා ඇවිත් සටහනක් කරාට.

Asa said...

ඇසට කඳුලක් ගලා ආවේ නිරායාසයෙන්.

මේ ලිපියෙන් මගේ ජිවිතයට ගැනීමට දේවල් ගොඩක් තියන බවයි හැඟෙන්නේ.ඒ නිසාම නැවතත් ස්තූතියි

ගල්මල්-Coral said...

@අපි වගේ...:
මෙය යම් ප්‍රයෝජනයක් වුනා නම් එය සතුටක්, බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට.

රොබින් said...
This comment has been removed by the author.
රොබින් said...

ඔය ආකරයේම සිදුවීමක් එක් ඔලිම්පික් හෝ පොදුරාජ්‍ය ක්‍රීඩා උලෙලකදී සිදු උනා එහි විශේශත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු වීමයි. අදටත් ජපානයේ පාසල් අධ්‍යාපනය විශය නිර්දේශයේ "නොසැලෙන අධිශ්ටනය " පිලිබද පෙන්වීමට ඇති කතාව වනුයේ එම කතා පුවතයි මාගේ මතකය අනුව ඔහුගේ නම "ගුණවර්ධන"වේ

samakayawate said...

අදයි මේ පැත්තට ආවේ එන්නම් දිගටම
මම සමකය වටේ ලියන නලීන්

Tharurasi Fernando said...

දැන් සති දෙකකට කළින් සාහිත්‍ය වැඩමුළුවකදි මම මේ වීඩියෝ එක ළමයින්ට පෙන්නුවා... මට ඕන උණේ ධෛර්යවන්තබව, නොපසුබටව ඉදිරියටම යාම, දරා ගැනීම, ආදරය ගැන ළමයින්ට කතා කරන්න...

හරිම සංවේදී අවස්ථාවක්....

EMoney said...

නොපසුබට උත්සාහය තමා හැමසේටම වඩා වැදගත්. උත්සාහය තියෙනවා නම් ජයගත නොහැක්කක් නොමැති තරම්.
ගල්මල් පැත්තේ ඇවිත් තිබ්බත් මේ පැත්තට ආවේ අද තමා. මමත් ඉතින් ලංකාවෙ අයට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සරලව කියා දෙන්න EMoney කියලා බ්ලොග් එකක් කරනවා.

Post a Comment