Pages

Subscribe

Tuesday, May 17, 2011

විශ්වාසයෙන් පළමු පියවර තබන්න

"Take the first step in faith. You don't have to see the whole staircase, just take the first step."
Martin Luther King, Jr.



විශ්වාසයෙන් පා ඔසවන්න. තරප්පු පෙළක් දිගේ පියනගන්න මුළු තරප්පු පෙළම දෑස් ඉදිරියේ පෙනෙන්න ඕන කියන අවශ්‍යතාවයක් නැහැ, ඔබේ ගමනට වඩාත් වැදගත් වන්නේ විශ්වාසයෙන් යුතුව තබන පළමු පියවරයි.  මෙය කළු ඇමෙරිකානු නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මාර්ටින් ලූතර් කිං මහතා පැවසූවකි.

අහස උසට නැග තරඟයට මෙන් වළාකැරලි සිපගන්නා වෙර දරන උස ගොඩනැගිලි ඉදිවෙන නූතන කාලයේ මේ වදනේ ගැඹුර වඩාත් මතුකර පෙන්වයි. මහල් ගණනාවකින් සමන්විත විශාල තට්ටු ගොඩනැගිල්ලක් ගැන හිතන්න. බිම් මහලේ රැඳී ඉන්නා අයෙකුට ඉහළට යන්න මාර්ගයන් (methods) කිහිපයක් තියෙන්න පුළුවනි; ඒ අතර පාගමනින් ඉහළට නැගිය හැකි තරප්පු පඩි පේළියන් (stair case), විදුලි සෝපානයන් (lift) වගේම විදුලි බලයෙන් වැඩකරන නවීන පඩි පේළි (escalator) ද වඩාත් වේගයෙන් තට්ටු 50ක් 60ක් ඉහළට ඇදෙන්න පුළුවන් වටාපිටාවේ දසුන් දැක දැක රූං ගාල උච්චයටම නඟින්න පුළුවන් විවිධ මෝස්තරවල විදුලි සෝපාන (view lift capsule) ද ඇති. ගොඩනැගිල්ලේ ඉහළට ඇදෙන්න නම් ඉන් එක් ක්‍රමයක් තෝරාගත යුතුවේ. තරප්පු පඩි පෙළ දිගේ උඩට ඇදෙන්න ශරීරයේ හයි හත්තිය හා අධිෂ්ඨානය  වගේම නැග යන්න වැඩිකාලයක් උවමනා වෙන නිසා ඉවසීමත් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් විදුලි බලයෙන් වැඩ කරන තරප්පු පෙළ තෝරාගන්න වෙනවා. ඒ තරප්පු පෙළේ පඩි සැකසෙන තහඩු තට්ටු ක්‍රියාත්මක වෙන හැටි දැක කකුලක් අහුවේවිද, විදුලි සෝපානය ඉහළට යද්දී විදුලි බලය ඇනහිටියොත් කඩාගෙන වැටේවිද හිත හිතා පසුබෑවහොත් අඩියක්වත් තියන්න පවා බැරිවේවි.


ජීවන ගමන ද තරප්පු පඩි පේළියක් දිගේ මෙන් පියවරෙන් පියවර ඉහළට නැගිය යුතු වෙහසිය යුතු ගමනකි. මාර්ටින් ලූතර් කිං මහතා පැවසූ පරිදි සම්පූර්ණ පඩි පේළිය තමා ඉදිරියේ දිස්වෙන්න තියෙන එකක් නැහැ. ඔබ ඉදිරියේ දිස්වෙන්නේ එක් මහලකින් තවත් මහලකට සේන්දු වෙන්න ඇති තරප්පු පඩි පෙළියේ කොටසකි, අනිවාර්යයෙන්ම ඒ පඩි පෙළ ඉහළට ඇදෙනවා. ගොඩනැගිල්ලේ ඉහළට එසේත් නැතිනම් තමන් ඉන්න තැනින් ඉහළට නගින්න අවශ්‍ය අයෙකුට තමා තෝරාගත් පඩි පේළිය මත තබන විශ්වාසයත් ඒ පඩි පෙළ ඉහළට ඇදෙනවා යන විශ්වාසයත් වඩාත් වැදගත් වේ.

ඔබ තෝරාගත් මග  ගැන විශ්වාසය තබන්න. ඉදිරියට පියමනින්න ඇති ක්‍රමය ගැන විශ්වාසය තබන්න. ඒ ගමනේ දී මතුවන හැම බධකයකටම මුහුණ දෙමි යන අධිෂ්ඨානය ඇති කරගන්න. ඔබේ ශක්තිය ගැන විශ්වාසය තබන්න. මා ජයගන්නෙමි යන තිර අධිෂ්ඨානයෙන් පළමු පියවර තබන්න.


ලිව්වේ: ගල්මල්-Coral
සිතුවම: http://www.onlinechicagorealestateblog.com

2 comments:

නලිනි චන්දිමා said...

ලක්ෂයක් පියවර තැබීම ඇරඹෙන්නේ එක් පියවරකිනි..

කොයි මගද තෝර ගන්නෙ කියන තැනදි දහ අතේ කල්පනා කරන අපි, යම් මගක් තෝරා ගත්තට පස්සෙ යම් බාධකයක් ආව ගමන් හිතන්නෙ, "අනේ අර අනික් පාරෙ ගියානම් මෙහෙම වෙන්නෙ නෑනෙ." කියලා. යා යුතු මග තෝර ගන්න අපහසු වෙන්නෙත් ඒ මග යද්දි මොන බාධක එයිද කියලා අධෛර්යමත් වෙන හින්දා. මොන බාධකය ආවත් එය ජය ගත හැකියි කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන්නම් කොච්චර හොඳද?

ගල්මල්-Coral said...

@නලිනි චන්දිමා:
කෙනෙකු මොන මග තෝරා ගත්ත ද ඒ හැම මගකම ඉදිරියට පියමැනීමේ දී ඒ ඒ ක්ෂේත්‍රයන්ට ආවේණික බාධක මතුවෙන්න පුළුවන්. එය බාධකයක්ම නොව අභියෝගයක් වෙන්න පුළුවන්, එවැනි අවස්ථාවක දී ඊට සාපේක්ෂව අනෙක් මග ගියානම් කියන අදහස මතු වීම නිසා පමණක් වෙලාවට තමා සේන්දු වූ තැන සිට පසුබසින මිනිසා හිතේ මතුවන දුර්වලතාවයට හිස් පහත්කරා වෙනවා. හැබැයි අර කී බාධකය නැතිනම් අභියෝගය ජයගෙන ඉදිරියට ඇදෙන්නා ජයගන්නවා.

මෙතැන දී මතක් වුණේ විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන් ගේ කියමනක්; ඔහු විදුලි බුබුල නිපදවීමේ අරමුණින් කල අත් හදා බැලීම් 999ක් අසාර්ථක වුණාට පසුවයි ඊළඟ උත්සාහය සාර්ථක වෙලා තියෙන්නේ. මෙපමණ වාරයක් අසාර්ථක වෙලත් ඔහු අරමුණ මුදුන් පමුණුව ගත්තේ කොහොමද විමසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වී ඇත්තේ ...පරීක්ෂණය වැරදුණ කිසිම වාරයකදී අසාර්ථක වුණා කියලා නොහිතා බල්බයක් හදන්න බැරි තවත් ක්‍රමයක් තමා දැනගත්තා කියලා හිතා ගත්තා... යන්නයි. අවසානයේ දී ඔහු උත්සාහය ජය ගත්තා.

ඇවිත් සටහනක් කරන එකට බොහෝමත්ම ස්තුතියි නංගී.

Post a Comment