Pages

Subscribe

Tuesday, May 17, 2011

විශ්වාසයෙන් පළමු පියවර තබන්න

"Take the first step in faith. You don't have to see the whole staircase, just take the first step."
Martin Luther King, Jr.



විශ්වාසයෙන් පා ඔසවන්න. තරප්පු පෙළක් දිගේ පියනගන්න මුළු තරප්පු පෙළම දෑස් ඉදිරියේ පෙනෙන්න ඕන කියන අවශ්‍යතාවයක් නැහැ, ඔබේ ගමනට වඩාත් වැදගත් වන්නේ විශ්වාසයෙන් යුතුව තබන පළමු පියවරයි.  මෙය කළු ඇමෙරිකානු නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මාර්ටින් ලූතර් කිං මහතා පැවසූවකි.

අහස උසට නැග තරඟයට මෙන් වළාකැරලි සිපගන්නා වෙර දරන උස ගොඩනැගිලි ඉදිවෙන නූතන කාලයේ මේ වදනේ ගැඹුර වඩාත් මතුකර පෙන්වයි. මහල් ගණනාවකින් සමන්විත විශාල තට්ටු ගොඩනැගිල්ලක් ගැන හිතන්න. බිම් මහලේ රැඳී ඉන්නා අයෙකුට ඉහළට යන්න මාර්ගයන් (methods) කිහිපයක් තියෙන්න පුළුවනි; ඒ අතර පාගමනින් ඉහළට නැගිය හැකි තරප්පු පඩි පේළියන් (stair case), විදුලි සෝපානයන් (lift) වගේම විදුලි බලයෙන් වැඩකරන නවීන පඩි පේළි (escalator) ද වඩාත් වේගයෙන් තට්ටු 50ක් 60ක් ඉහළට ඇදෙන්න පුළුවන් වටාපිටාවේ දසුන් දැක දැක රූං ගාල උච්චයටම නඟින්න පුළුවන් විවිධ මෝස්තරවල විදුලි සෝපාන (view lift capsule) ද ඇති. ගොඩනැගිල්ලේ ඉහළට ඇදෙන්න නම් ඉන් එක් ක්‍රමයක් තෝරාගත යුතුවේ. තරප්පු පඩි පෙළ දිගේ උඩට ඇදෙන්න ශරීරයේ හයි හත්තිය හා අධිෂ්ඨානය  වගේම නැග යන්න වැඩිකාලයක් උවමනා වෙන නිසා ඉවසීමත් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් විදුලි බලයෙන් වැඩ කරන තරප්පු පෙළ තෝරාගන්න වෙනවා. ඒ තරප්පු පෙළේ පඩි සැකසෙන තහඩු තට්ටු ක්‍රියාත්මක වෙන හැටි දැක කකුලක් අහුවේවිද, විදුලි සෝපානය ඉහළට යද්දී විදුලි බලය ඇනහිටියොත් කඩාගෙන වැටේවිද හිත හිතා පසුබෑවහොත් අඩියක්වත් තියන්න පවා බැරිවේවි.


ජීවන ගමන ද තරප්පු පඩි පේළියක් දිගේ මෙන් පියවරෙන් පියවර ඉහළට නැගිය යුතු වෙහසිය යුතු ගමනකි. මාර්ටින් ලූතර් කිං මහතා පැවසූ පරිදි සම්පූර්ණ පඩි පේළිය තමා ඉදිරියේ දිස්වෙන්න තියෙන එකක් නැහැ. ඔබ ඉදිරියේ දිස්වෙන්නේ එක් මහලකින් තවත් මහලකට සේන්දු වෙන්න ඇති තරප්පු පඩි පෙළියේ කොටසකි, අනිවාර්යයෙන්ම ඒ පඩි පෙළ ඉහළට ඇදෙනවා. ගොඩනැගිල්ලේ ඉහළට එසේත් නැතිනම් තමන් ඉන්න තැනින් ඉහළට නගින්න අවශ්‍ය අයෙකුට තමා තෝරාගත් පඩි පේළිය මත තබන විශ්වාසයත් ඒ පඩි පෙළ ඉහළට ඇදෙනවා යන විශ්වාසයත් වඩාත් වැදගත් වේ.

ඔබ තෝරාගත් මග  ගැන විශ්වාසය තබන්න. ඉදිරියට පියමනින්න ඇති ක්‍රමය ගැන විශ්වාසය තබන්න. ඒ ගමනේ දී මතුවන හැම බධකයකටම මුහුණ දෙමි යන අධිෂ්ඨානය ඇති කරගන්න. ඔබේ ශක්තිය ගැන විශ්වාසය තබන්න. මා ජයගන්නෙමි යන තිර අධිෂ්ඨානයෙන් පළමු පියවර තබන්න.


ලිව්වේ: ගල්මල්-Coral
සිතුවම: http://www.onlinechicagorealestateblog.com

Sunday, May 1, 2011

ජීවිතය ගමනක් මිස ගමනාන්තයක් නොවේ

"Life is a journey, not a destination."
— Ralph Waldo Emerson




Life is a journey, not a destination –  ජීවිතය ගමනකි, ගමනාන්තයක් නොවේ යන්න ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වේ. ජීවිතය පියවර බොහෝමයක් පියමැන ඉදිරියට යායුතු ගමනකි. ඒ ගමන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්, ගමන් මාවත කඳුහෙල්, දුර්ග වගේම අනේක බාධක වලින් පිරී තියෙන්න පුලුවනි. මතුවෙන හැම බාධකයක්ම ලබා දෙන්නේ ජයගෙන ඉදිරියට යායුතු අවස්ථාවක්, පන්නරයක්. ඉන් ලැබෙන දහිරිය හා අත්දැකීම ඉදිරියේ දී හමුවිය හැකි පෙරටත් වඩා විශාල බාධකයක් ජයගැනීමට ඔබව සකසනවා ඇති. නැතහොත් මතුවිය හැකි බාධකය සීරුවෙන් මග හැර ඉදිරියට ඇදෙන්න උපකාරයක් වෙනවා ඇති.

බාධක ජයගෙන ඉලක්කය කරා සේන්දුවෙන්නා ජයගන්නවා. එහෙත් ජීවිතයේ ජයග්‍රහණය කියන්නේ බොහෝවිට එක් පියවරකින් දිණුම් කණුව වෙත ලඟා විය හැකි මීටර් 100ක කෙටි ධාවන තරඟයක් නොවේ, බාධක දිවීමක් - පමණක් වෙලාවට නැවැත්විය නොහැකි බාධක දිවීමක්. කඩඉමක් පසුකර ජයගන්නා ඉදිරි කඩඉම ඉලක්ක කරයුතුය. ඒ හැම ගමන් කණ්ඩයක්ම එකිනෙකට වෙනස් වෙන්න පුලුවනි.

ජීවිතය ගමනකි, ඒ ගමනේ එක් ජයග්‍රහණයක් තවත් ඉදිරියට ඇදිය යුතු ගමනට පා ඔසවන්න ලබා දෙන පුංචි විවේකයක්, රැඳවුමක් මිස නවාතැනක් නොවේ - success is a stepping stone to move forward.

ගමනේ යෙදෙන්නාගේ අභිවෘද්ධිය වගේම සමාජයේ පැවැත්ම හා දි‍යුණුව උදෙසා දුෂ්කර මග ගෙවා ඒ ගමන යායුතුවෙන්නෙමු.


ලිව්වේ: ගල්මල්-Coral
සිතුවම:  "http://www.journey2where.com/index_files/image002.jpg"

හැඳින්වීම

දවස නිමාකර ක්ෂිතිජ ඉමෙන් හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදීලා, වෙහෙසකර දවස අග විවේකයක් ගන්න ඉඩ සලසලා. අඳුර පැතිරෙන අහස සෞම්‍ය සඳකැනින් ඔපවත් වෙන්නේ අලංකාරව, ඒ අතර ඉසිරුන පුංචි තරු නොපෙනෙන තරම්. සඳ නැති අහසේ ලොකු පොඩි තරුකැට දිදුලන්නේ අහස හිස් නොකර. ඒ තරුමල් වල දීප්තිය මොනතරම් ද දකින්න පුලුවන් වෙන්නේ අඳුරු අහසේ, බොහෝවිට ගනාදුර අහස ගිලගනිද්දී නොවෙද?

වැහි බිඳක්වත් නැති කලෙක දවසේ සැඩ හිරු රැසින් දැවුන පොළෝතලය පිණි බිඳු වලින් සිසිල් වෙන්නේ ගනාදුරු අහස යට. සැඟව ගිය හිරුගෙන් ලද විරාමයේ ගිමන් හරින ගස් කොළ මත රැඳෙන පිණි බිඳු මද පවනේ ලෙලෙන කොළ මත නොවෙද මුතු බිඳුවක හැඩ ගන්නේ. කොළ අග්ගිස්සෙන් ගිලිහුනත් පිණි පොද නොවෙද වියලි පොලෝ තලය තෙතමාත්තු කරන්නේ.

රාත්‍රී අහස මොනාකාර වුවත් අළුත් දවසක් උදාකර නැග එන නැවුම් හිරු කිරණින් ලොව නැහැවෙන්නේ සුවහසක් පැතුම් මල්පල ගන්වන්න. අරටුවෙන් මතුවෙන්න මානන නැවුම් දල්ලක්, අතුඅග පිපී ලොව පාට කරන්න සුවඳ කරන්න බලා ඉන්න මල් පොහොට්ටුවක්, නිසසල පරිසරය කුරුළු ගීතයෙන් පුරවන්න බලා ඉන්න සියොතුන්; ප්‍රබෝධමත් වෙන්නේ ඒ නැවුම් හිරු කිරණින් නොවෙද.

ජීවිතය ද දිවා-රැයින් පිරුණ දවසක් වගේ නොවෙද, එහෙත් ජීවිතයක ඒ කාල කලාප දෙක දවසේ විසිහතර පැය මෙන් කෙටි වෙනවානම් දිවා රෑ වගේ මාරුවෙනවා නම් වාසනාවකි. බොහෝ විට එක් කාල කලාපයක් අනෙකට සාපේක්ෂව බොහෝ දික් වෙන්නත් පුලුවන්. අඳුර ගිලගත් රාත්‍රිය ගෙවිලා නේද උදෑසැන එළිය එඹී බලන්නේ.

උදේ මුදු හිරු රැසින් පිපිය යුතු මල් පොහොට්ටුවක්, දැඩි අරටුවකින් මතුවිය යුතු ලදල්ලක් ගැන සිතන්න. අරුණලු ලොව විහිදෙද්දී පිපෙන්න නම් පොහොට්ටුව අතු අගට ආයුතු වන්නේය. දල්ල අරටුවෙන් එළිය දකින්න නම් ගසේ පොත්ත මතුපිටට ආයුතුයි. මෙලෙක් මල් පොහොට්ටුව, සියුමැලි දල්ල ගසේ කඳක් හරහා මතුවී එඹී බලන්න මොනතරම් බාධක ජයගන්න වෙනවා ඇද්ද? හිතා බලන්න... හිරු සැඟව ගිය අඳුරු රාත්‍රියක ඉරී කැඩී ගිය ගස් කඳ පොතු පිරිමැදගෙන විවේක ගනිද්දී තව තවත් දැඩිවෙන්න ශක්තිමත් වෙන්න තැනෙද්දී මතුවිය යුතු අලුත් දල්ලක් ඊටත් වඩා ශක්තිමත් වෙන්න වෙනවා; ජය ගන්න නම්.

අපේ ජීවන ගමනේ දී අනේක කම්කටොලු වලට මුහුණපාන්න වෙනවා. ඒවාට දිරියෙන් මුහුණ දී ඉදිරියට යන්න සමත්වෙන්නා ජය ගන්නවා. ඒ ගමනට දිරියක් දෙන්න සමත් විය හැකි, රුකුලක් වෙන්න පුලුවන් දෑ; විශේෂයෙන් විශ්ව සාහිත්‍යයෙන් පෝෂණය වෙන දිරිමත් කරවන කියමන් අලලා කල රචනා අපේ පාඨකයින් අතරට සිංහල බසින් ගෙනෙන්න උත්සාහයක් අරුණලු.